Рет қаралды 2,508
සමනල කඳු පන්තියේ පරිවාර කඳු තරණය කිරීමට හිතක් උපන්නෙ අද ඊයෙක නොවේ. සමනල රක්ෂිතයේ කඳු අතරින් ප්‍රධානම කන්ද වන සිරිපා කන්ද එහි සුවිශේෂී පිහිටීම නිසාම දිවයිනේ සතර දිග් භාගයටම දැකිය හැකිය. නමුත් වනපෙතේ විශාලතම කන්ද වනුයේ බෑන සමනල ගල ය. එය රක්ෂිතයේ උසින් තෙවෙනි ස්ථානය ගන්නේ මීටර් 2010ක් ලෙසිනි. බොහෝ දුර්ග මාර්ග සේම කළුගඟේ ප්‍රධානම ජල පෝෂකයක් වී ගලා යන දියවර උපත පටන් ගන්න බෑන සමනල කන්දේ අදටත් කිසිවෙකු නොගිය ප්‍රපාතය තුළ යම් අබිරහසක් ඇති බව බොහෝ කාලයක් පටන් විවිධ පුද්ගලයින් අදහස් දක්වා ඇත.
දුරාතීතයේ සිටම සමනල අඩවියට ඇතුළු වීම නැතහොත් කරුණාවට පිවිසීම ශුද්ධ වූ කර්තව්‍යයකි. සාම්ප්‍රදායික පේවීම තුළින් පිළිපැදිය යුතු සිරිත් විරිත් රකිමින් බොහෝ ශ්‍රද්ධාවෙන් සිදුකළ යුතු වන්දනාව අතීතයේ ජීවිතයත් මරණයත් තීරණය කරන තරම් දුෂ්කරතාවයෙන් යුක්ත වූවකි. ඒ කිසිම අවස්ථාවක අපේ පැරැන්නෝ ‘කට වරද්දවා’ ගත්තේ නැහැ. මන්දයත් මෙම අඩවිය එතරම්ම අනුහස් සහිත අඩවියක් වූ බැවිනි. සමනල රක්ෂිතයේ කන්දක් ලෙස පිහිටි ඉතා විශාලම කන්ද වනුයේ බෑන සමනල ගලයි.
එය සිරිපා උඩමළුවට හොටක් ලෙස පෙනුණ ද එහි සැබෑ ස්වරූපය දැකිය හැක්කේ ඉන් ඔබ්බට පිහිටි අවට කඳු මුදුන්වලට ගිය විටදීය. මන්ද බෑන සමනල කන්දේ දකුණු බෑවුම යනු විශාල ප්‍රපාතයක් වන හෙයිනි. පිරමීඩාකාර ලෙසට සමනල කන්ද පිහිටා ඇති අතර බෑන සමනල ඕවාලාකාර පිරමීඩ ලෙසට ඉතා පුළුල් ව පිහිටි කන්දකි.
සමහර පිරිස් ‘බෑන’ යනු රාවණාගේ බෑනා හට අයිති කරදුන් ස්ථානය ලෙස සලකන අතර එහි රාවණා සම්බන්ධ වන්දනා මාන ස්ථානයක් හෝ කෝවිලක් ඇති බව විශ්වාස කෙරේ. නමුත් මේ කිසිවක් තවම නිශ්චිත පරිදි තහවුරු කරගෙන නොමැත. අඩි 6600ක් පමණ උසැති බෑන සමනල කන්ද මත තවත් මතවාදයක් තිබේ. එනම් ඉතිහාසයේ පරිදි අවසන් මහ රහත් හිමියන් වූ මලියදේව මහරහතන් වහන්සේ තමන් භික්ෂුන් නවසියයක් පමණ සමග බෑන සමනල කඳු මුදුනේ ගල් ලෙනක වැඩ වාසය කළා කියන ජනප්‍රවාදය ඇතැමුන් පවසන පරිදි බෑන සමනලගිර පුරා විවිධ පුරාවස්තු, කටාරම් කොටන ලද ගල් ගුහා සහ විස්මිත ගල් තලාවකුත් ඇති බව පැවසේ. මින් විස්මිත ගල්කුලුව සත්‍යයක් බව අත්දැකීමෙන් අප දුටුවේ කඳු මුදුනට මඳක් එහාට ගිය විට සත්‍ය වශයෙන්ම ඉතා සුන්දර ගල් තලාවක් තිබීමයි.
බෑන සමනල ගිර තරණය ලෙහෙසි පහසු නැත. මන්ද එය දැවැන්ත වන පියසකින් ආවරණය වී ඇති හෙයිණි. තවද ආසන්නතම ග්‍රාමයේ සිට කන්ද තරණයට සහ නැවත බැසීමට නිතැතින්ම දින දෙකක් පමණ ගත වේ. මන්ද බෑන සමනල තරණය කළ හැකි එකම පහසු මාර්ගය ඇත්තේ රත්නපුර රජ මාවතේ සීත ගඟුල අසල වන හෙයිනි. එම නිසා ප්‍රථමයෙන් හැටන්, එරත්න හෝ සිරිපාගම ප්‍රදේශයෙන් සම්මත සමන්ගිර කරුණා මාර්ගයේ පැමිණ මෙම සීත ගඟුලට ළඟා විය යුතුය.
කුඩා බෑන සමනලත් ඉන් පිටුපස කුණුදිය පව්වත් ඊට ඔබ්බෙන් පිදුරුතලාගල සහ හීන් පිදුරුතලාව කඳු වැටියත් අපට දක්නට ලැබුණි. අනෙක් පසින් රත්කන්ද ඇඳිරි කැලේ කන්ද, ගැටකිවුල කන්ද, කෝඳුරුගල, මහා ගවරවිල, මහදුරා සහ හෙට්ටිපළ කඳු වැටියත් දක්නට හැකිවුණි. කන්ද මුදුනේ ගල් තලාවේ කිසියම් අකුරු වගයක් කොටා තිබෙනු අප දුටුවේ ඇසිල්ලකිනි. ඊට අමතරව තවත් යකඩ බටයක් හොඳින් ගල තුළට සවිකර තිබුණි. මීට පෙර ජනප්‍රවාදයක තිබූ යැයි කිසිවක් ඒවා නොවූ නමුත් ගලේ කොටන ලද අක්ෂර ඉංග්‍රීසි අක්ෂර වූ හෙයින් ඒවා බොහෝ කාලයකට ඉහත දී මිනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දෝරුවන් දමන ලද සටහන් බව අපට අවබෝධ විය. ඊට අමතරව තිබූ යකඩ කණුව කුමක් දැයි අපට ප්‍රශ්නාර්ථයක් වූයේ එය සවිමත්ව සවිකර තිබූ ආකාරය නිසාවෙනි. එම යකඩ කණුව ද ඉතා ඈත අතීතයේ මිනින්දෝරුවන් විසින් සවිකරන ලද්දකි. එම කණුව කොඩි කණුවක් ලෙස සවිකර මැනුම් කටයුතු සඳහා යොදාගනෙ ඇති අතර ගලේ කොටන ලද නාමයන් ගල ගැඹුරට විද ඇති හෙයින් මිනින්දෝරුවන් විසින් කඳු මුදුන්වල කොටන කුකුල් අඩි සලකුණු මෙන් විය. එම අක්ෂර සහ කණුව හැරුණු විට වෙනත් සැලකිය යුතු කිසිවක් අපට හමු නොවුණු අතර විටින් විට මීදුම් කෝඩයෙන් අප වෙළාගන්නට විය. පසුව අප කන්දේ බෑවුම් ප්‍රදේශයට යාමට මදක් උත්සාහ කළ අතර ඕවලාකාර ප්‍රපාතය ඉතා සෘජුව පහළට යන බැවින් පඳුරු මගින් යාමේ දී වඩාත් පරෙස්සම් වුණෙමු. මන්ද එම පඳුරු තුළ ද කුඩා කුහර වැනි දේ තිබිණි.
සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් බෑන සමනල මුදුනේ කදුවුරු බැද පසුදා උදෑසන ඉර සේවය දැකගතිමු. ඉතා පැහැබර දිනයක උදෑසන වළාකුණු වලට උඩින් , බෑන සමනල සිට සිරිපතුල වැඳ ගතිමි. මම ආපසු ඒමට පිටත් වූනේ ඈතින් පෙනුනු පැදුරුතලාගල කදුවැටිය දිනක තරණය කිරීමේ අදිටන පෙරදැරිවය.